125x125 Ads

2013 වෙසක් සත්කාරය- ගමනක නිමාව

3 comments
පසුගිය මාස කිහිපයෙ පියවරින් පියවර ඉදිරියට ආව වෙසක් සත්කාරයෙ අවසන් ඉම උදා වුණේ, වෙසක් සතියෙ සඳුදින, මැයි විසිවෙනිදා.

මුළින්ම අපි ගියෙ මොණරාගල, වැලියාය, පියරතන විද්‍යායතන පිරිවෙනට. අපි යනකොට ස්වාමීන් වහන්සේලා බුදුන් වඳිනවා. නායක ස්වාමීන් වහන්සේලා බොහොම ප්‍රසන්න, කාරුණික අය. දුටුවිටම සිත පහන් වන විදිහෙ. එතැන ඉගෙනගන්න ගිහි ශිෂ්‍යයන් කෙරෙනුත් පෙනුණෙ බොහොම විනීත ඇවතුම් පැවතුම්. එතන ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දොළොස්නමකට අවශ්‍ය පොත්පත් පිරිනැමීමෙනුයි දවස ඇරඹුණේ. එම පිරිවෙනේම වැඩ වාසය කරන ශිෂ්‍ය හිමිවරුන් හා, එදිනෙදා පැමිණෙන ශිෂ්‍ය හිමිවරුන් වෙනුවෙන් එහි කෘත්‍යාධිකාරී හිමියන්ටත් (ඒ වනවිට ඔවුන් වැඩම කොට නොසිටිය නිසා) පූජාව සිදු කෙරුණා.




ඉන් පසු අපි ගියේ ඉහාව විදුහලට. අතරමගදි අපේ සියඹලාණ්ඩු නියෝජිත රවිට කතා කළත්, ඒ වෙද්දිත් රවිගෙ සේවා මුරය අවසන් වී නැහැ. රවිව ඉහාවෙදි මුණගැහෙන බලාපොරොත්තුවෙන් අපි ඉදිරියට ගියා. ඒ වෙනකොට හීන් වැස්සක් වැටෙමින් තිබුණෙ. වැස්සෙ තෙමීගෙනම, මීයාගල විදුහලේ විදුහල්පතිතුමා, ට්‍රැක්ටරේකුත් ලෑස්ති කරගෙන, පාරට වෙලා ඉන්නවා අපි එනතුරු. ඉක්මණින් ඉහාව විදුහලට ගිහින්, එහෙට පොත් බෙදා දීලා, විදුහල්පතිතුමාගෙ ගෙදරට ඇවිත් ට්‍රැක්ටරයට නැගිලා යන්නයි සැලසුම් කළේ.

පොඩි පන්තිවල ළමයින් සඳහා වන කට්ටලය
බෑගය, පිටු 80 තනි රූල් (පන්ති අනුව ලොකු රූල් හෝ සාමාන්‍ය) පොත් 10, කොටු රූල් පොත් 1, චිත්‍ර පොත් 1, පිටු 200 සී ආර් පොත් 1,  පාට පැන්සල් පෙට්ටි 1, පාට පැස්ටල් පෙට්ටි 1, වතුර බෝතලය, පැන්සල් 4, මකනය, දැළිස පොත



6න් ඉහළ පන්තිවල ළමයින් සඳහා කට්ටලය
බෑගය, පිටු 200 තනි රූල් පොත් 10, කොටු රූල් පොත් 1, පිටු 120 සී ආර් පොත් 1, ප්‍රස්තාර පොත් 1, පාට පැන්සල් පෙට්ටි 1, පෑන් 4, පැන්සල් 2, මකනය, කවකටු පෙට්ටිය



ඉහාව විදුහලට ගොඩවැදුණෙම, අපට වැඩි වෙලාවක් නෑ කියාගෙන. විදුහල්පතිතුමා රාජකාරි ගමනක් ගිහින් නිසා, උපවිදුහල්පතුමා සහ අනික් ගුරුවරුන් අපට අවශ්‍ය වුණු නාමලේඛන සපයා දීලා, ළමුන් ශාලාවට රැස් කළා. පොඩ්ඩො ආවෙ පුටුත් උස්සගෙන. 
අපට දන්වා තිබුණු සංඛ්‍යාවෙන් නෑවිත් තිබුණෙ එකම ළමයයි. එයාගෙ ත්‍යාගය අපි පාසලට භාර දුන්නා.


ඉහාවෙදි අනපේක්ෂිත සිදුවීමක් වුණා. 
එක වසරෙ ළමයින් තුන් දෙනෙක් කියලයි අපට කියල තිබුණෙ. නාමලේඛනයෙ සිව් වැන්නෙකුත් හිටියා. නමුත් පිටු පෙරළලා බැලුවහම, ඒ දරුවා මේ වාරයේම පාසල් ඇවිත් නැහැ. කලින් වාරයෙත් සතියකට වරක් විතර, එහෙමත් නැත්නම් ඊටත් අඩුවෙන් ඇවිත් තිබුණෙ. ඒ නිසා අපි ඒ ගැන විමසීමක් කළා. 
එතෙන්දි අපට පිළිතුරු දුන්නෙ එක් ගුරුවරියක්. 
"එයා විශේෂ දරුවෙක්." ඈ කිව්වා. කියලා, ටිකක් අදිමදි කරමින් ආයෙත් හඬ අවදි කළා. "එයා ඇත්තටම මගේ පුතා."
අපි කිව්වා ඒ දරුවා පිළිබඳව අප දැන නොසිටි බව. ඒ එක්කම මොකක්ද දරුවගෙ විශේෂතාවය කියලත් ඇහුවා. මොකද, ඉගෙනගන්න අපහසුකමක් නැති, පොත්පත් අවශ්‍ය දරුවෙක්ද, ඇයි එයාගෙ නම අපිට නොදැන්නුවෙ කියලයි දැනගන්නට ඕන කළේ.
බලනකොට ඒ දරුවා ඉපදුණු අලුතම විෂබීජයක් මොළයට යාමෙන්, මෙනින්ජයිටිස් රෝගය සෑදුණු දරුවෙක්. මව කියන පරිදි, ඔහුට හොඳින් සිහි කල්පනාව තියෙනවා. නමුත් තවම හරි හැටි කතා කිරීමට බැහැ. ඒ වගේම තනිවම පැන්සල අල්ලා ලිවීමට තරම් අත හැසිරවීමට හෝ තනිවම ඇවිදීමට බැහැ. මවගේ ඥාතියකු විසින් ලබා දුන් රෝද පුටුවකිනුයි දැනට දරුවා එහා මෙහා යන්නෙ. මසකට වරක් කොළඹ ගෙන යනවා ප්‍රතිකාරවලට. පාසලට ගෙන එන්නටනම්, වාහනයකින් ගෙන ආ යුතුයි. ඒ අපහසුකම් නිසයි දරුවා පාසලට නොගෙනෙන්නෙ. නමුත් අම්මා පාසල් ඒමට සූදානම් වන බව දුටුවාම, දරුවා අඬනවලු.
මේ දරුවට අපි යමක් ගෙන ගොස් නොතිබුණු නිසා, ඒ වෙලාවෙ එතන හිටි අපි කීප දෙනා සාකච්ඡා කරලා, මුදල් ප්‍රදානයක් කළා.
ඒ දරුවගෙ අම්මා, දරුවා ගැන අපි විමසුව මොහොතේ ඉඳන්ම හිටියෙ, හැඬුම් බලෙන් නවත්වා ගනිමින්. අනෙක් සිසුන් ඉදිරියෙ හැඬීමට නොහැකි නිසා වෙන්නට ඕන.

පුස්තකාල පොත්- රුපියල් හතළිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත්, ළමා හා යොවුන් කතාපොත්, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ සඳහා උපකාර ප්‍රශ්නෝත්තර පොත්, බාහිර දැණුම පොත්, ශබ්දකෝෂ මීට අයත් වුණා. එක් විදුහලකට පොත් 150ක් පමණ දුන්නා




ඊට පස්සෙ මීයාගල විදුහල්පතිතුමාගෙ නිවසට ගිහින්, (එතුමා පදිංචි ඉහාව විදුහල කිට්ටුව) ට්‍රැක්ටරේට පොත්පත් මාරු කළා. උදේ සිට පැවති පොද වැස්ස නිසා, ඉටි රෙදි අරගෙන, පොත්පත් ආවරණය කිරීමට කටයුතු යෙදුවා. ඔය අතරම රවිත් සේවා මුරය අවසන් කර එතැනට ආවා.
අපට කලින් දීමට අමතක වුණු ඉහාව පුස්තකාල පොත් පාර්සලයත් මගින් දීගෙනම, අපි මීයාගල පාසල කරා ගියා. ට්‍රැක්ටර් ගමන තවත් දුෂ්කර කරවමින් අතරමග බෝක්කුවක් කඩාගෙන ගිහින්. ට්‍රැක්ටරේ නවත්වලා, රියැදුරු මහත්මයා ගිහින් පාර සෝදිසි කළා. ඊට පස්සෙ අපිට ටික දුරක් පයින් එන්නටය කියලා, එතුමා ට්‍රැක්ටරය අරගෙන, කණ්ඩිය ඔස්සේ ඇලට හරවලා, ඇල ඔස්සේ ටික දුරක් ගමන්කොට, බෝක්කුවෙන් එහා පැත්තෙ ආයෙමත් කණ්ඩිය දිගේ දැම්මා නෙව පාරට!







අමතක නොවන ට්‍රැක්ටර් ගමනින් පස්සෙ අපි ආවා මීයාගල විදුහලට. 
අපි රවිට කිව්වෙ දුෂ්කර පාසලක් හොයල දෙන්නටය කියලා.
දුෂ්කර කියන්නෙ?
"දුෂ්කර කියන්නෙ මොන වගේද කියලා, ශබ්දකෝෂයෙන් ඉගෙන ගත්තට පස්සෙ, තේරෙන්න කියල දුන්නෙ රවි අය්යා." එහෙමයි හර්ෂණ කිව්වෙ.

ඉහාව, මීයාගල කියන ඉස්කෝල දෙකම කලකට පෙර වැසෙන්නට ගිය පාසල්. මීයාගල විදුහල වත්මන් තත්වයට ගොඩනැංවීමට වෙහෙසෙන්නෙ විදුහල්පතිතුමා. 
පාසලට පය තබනකොටම අපිට වැටහුණා, මේ පරිත්‍යාගය ලැබීමට සුදුසුම දරුවන් මෙතන ඉන්නා බව.
අපි කලින් කියලා තිබුණෙ රැස්වීම් අනං මනං ඕන නැහැ, අපි ආවා, පොත් ටික දුන්නා, ගියා කියලා.



අපි යනකොටත් දරුවො ශාලාවෙ රැස් වෙලා. ඒ වගේම මව්වරුනුත්. අපි ශාලාවෙන් බෑග් එකලස් කර අවසන් වෙනකොටම විදුහල්පතිතුමා කතා කළා: දැන් කවුද කතාව පවත්වන්නෙ? අපි රැස්වීමෙ .... (මට දැන් වචනෙ මතක නැහැ; පොතක පටුන වගෙ රැස්වීම්වල තියන එක) හදනවා! 
එයින් පස්සෙ අපිට ගුරු මණ්ඩලයෙන් සංග්‍රහයක්. 

ඊට පස්සෙ රැස්වීම. ගුරු භවතෙක් හා විදුහල්පතිතුමා රැස්වීමෙ අරමුණු පැහැදිලි කළායින් පසුව, ශිෂ්‍යාවක් ඉංග්‍රීසියෙන් පිළිගැනීමේ කතාවක් කළා.
ඊට පස්සෙ ශිෂ්‍යාවක් මිහිරි ගීයක් ගායනා කළා. ඇයට බෙර වාදනයෙන් සහාය වුණේ තවත් ශිෂ්‍යයෙක්.
එයින් පස්සෙ කුඩා සිසුවියන්ගෙ නැටුම් අංග දෙකක්. ඉහළ පන්තිවල සිසුන්ගෙ ගායනා අංග.
ඔවුන් ඇත්තටම දක්ෂ සිසුන්. 



අනංමනං ඕන නැහැ කියලා අපේ කුලප්පුවට කිව්වට, මේ දරුවො තමන්ගෙ දක්ෂතා ප්‍රදර්ශනය කරන්නෙ කා ඉස්සරහද? තමන්ගෙ ඉදිරිපත්වීමේ හැකියාව, නායකත්ව ලක්ෂණ පෙන්වන්නෙ කොහෙදිද?
පාසලෙන් ඔබ්බට මේ දරුවන්ගෙ කුසලතා යන්නෙම නැති තරම්. ළඟා වීමේ දුෂ්කරතාවය නිසා විදුහලට එන අමුත්තනුත් අඩුයි. එහෙම තියෙද්දි, ඔවුන්ගෙ හැකියාවන් රස විඳීමට අපට වෙලාවක් නැහැයි කීමට අයිතියක් ඇත්තේ කාටද?

ඒ අතරතුර මම බලා හිටියෙ ඉදිරි පෙළ දරුවන් දිහා. වම් පැත්තෙ ආසන පේළියෙ ළමයින් හත්දෙනයි: සපත්තු ළමයි 1: සෙරෙප්පු ළමයි 2: පාවහන් රහිත ළමයි 4
එතන තුන් වෙනියට ඉඳගෙන හිටිය පුංචි කෙල්ලගෙ තිබුණු අහිංසක පෙණුම මතක් වෙනකොට දුකයි. පස්සෙ ඇයත් එක්ක කතා කළහම කිව්වා, ගෙදර ඉන්නෙ, ආච්චියි සීයයි රේණු පුංචියි කියලා.

ඉතින් එතෙන්දිත් පොත්පත් බෙදා දෙන්න ගිහාම, එක් විශේෂ දරුවෙක් හිටියා. අපි නම කතා කළාට, එයා ආවෙ නැහැ. පාසලේ ගුරුවරයෙක් ළඟට ඇවිත් අතින් අල්ලලා, කතා කළහම තමා ආවෙ.
එදින පාසල් නොආ දරුවොත් සෑහෙන ප්‍රමාණයක් හිටියා, දහදෙනෙක් විතර. ඒ අයගෙ ත්‍යාග අපි තියලා ආවෙ, ගුරු මණ්ඩලය ගුණ සම්පන්න බව පෙනුණ නිසයි.









අපි ආපහු එද්දි, පාරට ගහක් කඩන් වැටිලා. ඒකත් එහා මෙහා කරගෙනයි ආවෙ. අර සමහර වාහනවල ගහල තියෙන්නෙ, "රියැදුරු දෑතට තෙරුවන් සරණයි" කියලා; ඒ මේ ට්‍රැක්ටරේ රියදුරු මහතා වගේ අයට වෙන්නට ඕන. පාර හරියට නැති තැන්වලදි කණ්ඩිවලින් දාගෙන ගියත්, අනවශ්‍ය ලෙස එකදු පඳුරක් හෝ නොතැලෙන විදිහටයි ඔහු ට්‍රැක්ටරය පැදෙව්වෙ.

ඊට පස්සෙ අපි ගියෙ මොණරාගල නගරයේම තියෙන පිරිවෙනට. එහි සාමාන්‍යයෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තිස්නමක් පමණ සිටින මුත්, වෙසක් පින්කම් සඳහා සහභාගි වන නිසා, එදා වැඩ සිටියේ ඉන් අටනමක් පමණයි. 
අපි කීපදෙනා සාකච්ඡා කර, ඉතිරි වුණු පොත්පත් ආදිය පියරතන පිරිවෙනට ආපසු රැගෙන ගොස් පූජා කළා. එතනට එන අවශ්‍යතා සහිත ගිහි දරුවන්ට ඒ ද්‍රව්‍ය ලබා දෙන බව ස්වාමීන් වහන්සේ වදාළා.

ඉතින් ඔහොමයි.
Read more »
 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,